top of page

ලංකාවේ අධිකරණ පද්ධතියේ කාලීන අවශ්‍යතා

Chandima Supun

Faculty of Law

University of Colombo

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ප්‍රාථමික අධිකරණයන්හි සිට උපරිමාධිකරණය දක්වා පුළුල් අධිකරණ ව්‍යුහයක් ස්ථාපිත වී තිබේ. මෙහි ඇති සංකීර්ණතාවය නිසාම වර්තමානයේ නීති ක්ෂේත්‍රය තුළ ගැටළු රාශියක් පැන නැගී ඇත. මීට මූලිකම සාධකය වනුයේ අධිකරණ පද්ධතිය යාවත්කාලීන නොවීම හා නව්‍යකරණයට භාජනය නොවීමයි. ඒ අනුව සමස්ථයක් ලෙස ප්‍රත්‍යක්ෂ කරගත් ලද ගැටළු හා ඊට යෙදිය හැකි පිළියම් පහත පරිදි හඳුනාගත හැකිය. ශ්‍රී ලාංකික අධිකරණ පද්ධතිය විෂයෙහි පවත්නා ප්‍රමුඛතම ගැටලු ලෙස අධිකරණ කටයුතු කෙරෙහි ජනතා විශ්වාසය හීන වීම. අධිකරණයේ නඩු කටයුතු වල සිදුවන අනවශ්‍ය ප්‍රමාදය. වර්තමානයේ පවත්නා නීතී රීතීන්හි දුර්වලතා. ප්‍රමාණවත් අධිකරණ පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත නොවී තිබීම. අධිකරණ කටයුතු පිළිබඳ ප්‍රජාව සතු අල්ප දැනුම. යනාදිය හඳුනාගත හැකිය. 1.අධිකරණ කටයුතු කෙරෙහි ජනතා විශ්වාසය හීනවීම. අධිකරණ කටයුතු කෙරෙහි ජනතා විශ්වාසය හීන වීම ද වර්තමානයේ දී පවත්නා ප්‍රබලතම ගැටලුවකි. මේ සඳහා විවිධ අවස්ථා වලදී වාර්ථා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීවරයන් විසින් විනිසුරුවරුන්ට බලපෑම් සිදු කිරීම, ඇතැම් විනිසුරුවන්ගේ ක්‍රියා කලාපය ආදී කාලීන හේතු සාධක බලපා ඇත. ඊට අමතරව පහළ අධිකරණ වල නඩු තීන්දු ඉහළ අධිකරණ මගින් අභියෝගයට ලක් වීම, ධනවත් හා බලවත් පුද්ගලයින් නීතියේ හිඩැස් මගින් බේරී ගොස් පහළ මිනිසුන් දඩුවමට ලක්වීම යනාදී හේතු සාධකද අධිකරණ කටයුතු කෙරෙහි ජනතා විශ්වාසය හීන වීමට බලපායි. මෙම ගැටළුව මගහරවා ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග ලෙස, අධිකරණ කෙරෙහි විශ්වාසය රඳාපවතින්නේ විනිසුරුවන්ගේ ක්‍රියාකලාපය මත නිසාවෙන් එය කඩකරන විනිසුරුවන් හට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම. අධිකරණයට බලපෑම් කරන කුමන පුද්ගලයෙකුට වුව ද තරාතිරම නොබලා දඬුවම් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම. අධිකරණ විනිශ්චයකාරවරුන්ට ස්වාධීනව වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරය උදා කිරීම සහ ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම. 2. අධිකරණයේ නඩු කටයුතු වල සිදුවන අනවශ්‍ය ප්‍රමාදය. මෙය ශ්‍රී ලාංකික අධිකරණ ක්ෂේත්‍රයේ පවත්නා ප්‍රබලම ගැටලුවකි. එමගින් පැන නගින අතුරු ගැටලු ලෙස ජනතාව නීති ඉදිරියට යාමෙන් වැළකීම, නඩු තීන්දුවල වටිනාකම අඩුවීම, නඩු තීන්දු කෙරෙහි අඩු විශ්වාසයක් තැබීම යනාදිය හඳුනාගත හැකිය. තීන්දු ලබාදීමට දීර්ඝ කාලයක් ගත වන නිසා ඒ හා සම්බන්ධ සියලු පාර්ශව අපහසුතාවයට පත් වේ. සිවිල් නඩු කටයුතු සඳහා වසර 10-15 ක් වැනි කාලයක් ද මිනීමැරුම් නඩු සඳහා වසර 10 ක් තරම් වූ දීර්ඝ කාලයක්ද ගත වීම නිසා ඇතැම්විට වින්දිත හා චූදිත යන දෙපාර්ශවයම ජීවතුන් අතර නොසිටීම ද දක්නට ලැබේ. එමෙන්ම මූලික අයිතිවාසිකම් පෙත්සම් හි තීන්දු සහ තීරණ ඉක්මනින් ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සකස් කර තිබුණද එම තීන්දු හා තීරණ ප්‍රමාද වීම තවත් ආකාරයකින් මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම අනවශ්‍ය ප්‍රමාදයන්ට මූලිකවම බලපාන හේතු සාධක ලෙස අධිකරණයන්හි නඩු ධාරිතාව ඉහළ යාම, නීතිපති දෙපාර්තුමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන අනුශාංගික ආයතනයන්හි සිදුවන ප්‍රමාදයන් ආදිය ද නීතිඥවරු, නඩු හා සම්බන්ධ පාර්ශව වල ක්‍රියාකාරීත්වය යනාදී හේතු සාධක බලපායි. මෙලෙස නඩු කටයුතු අනවශ්‍ය ලෙස කල්ගත වීම අවම කර කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග ලෙස, නඩු ධාරිතාව අවම කර ගැනීමට පවතින අධිකරණ ක්‍රමයෙන් ඔබ්බට ගොස් නව අධිකරණ ක්‍රමයක් සැකසීම. නීතීඥයන්, නඩු හා සම්භන්ද පාර්ශවකරුවන් මගින් සිදුවන අඩුපාඩු මගහරවා ගැනීමට ආචාරධර්ම පද්ධතියක් නිර්මාණය කිරීම මෙන්ම විනිසුරුවරයා ද වගකීමක් සහිතව ක්‍රියා කිරීම සිදුකළ යුතුය. අනුශාංගික ආයතනයන්හි ක්‍රියාකාරිත්වය විධිමත් හා කඩිනම් කිරීම සඳහා නිශ්චිත ක්‍රියාපටිපාටියක් හඳුන්වා දීම. මාර්ගස්ථ සුළු වැරදි සඳහා වෙනත් රටවල මෙන් ස්ථානීය දඩයක් නියම කිරීම තුළින් අනවශ්‍ය නඩු පැවරීම් අවම කිරීම. අධිකරණ කටයුතු කෙරෙහි පවත්නා ක්‍රමවේදය වෙනුවට නූතන තාක්ෂණය කැටි වූ නව ක්‍රමවේදයක් නිර්මාණය කිරීම. 3. වර්තමානයේ පවත්නා නීතී රීතීන්හි ඇති දුර්වලතා. යල්පැනගිය නීති ක්‍රියාත්මක වීම අධිකරණ පද්ධතිය තුල ඇති ප්‍රමුඛතම ගැටලුවකි. ඒ අනුව අතීතය සම්මත කරන ලද නීති රීතීන් වර්තමානයේ දී කාලීන වශයෙන් ශෝධනයට ලක් නොවීම නිසා මෙම ගැටළුව ඇති වී තිබේ. නිදසුන් ලෙස පාදඩ ආඥා පනත යටතේ දඬුවම් ලබන පුද්ගලයෙකුට හා 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත යටතේ රාජකාරි පැහැර හරින පුද්ගලයෙකු මත පනවන දඩ මුදල් කාලීනව සංශෝධනය නොවී නොතිබීම නිසා එය වර්තමානයේ ඉතා සුළු මුදලකි. තවද වර්තමානයේ දී ක්‍රියාත්මක කරනු ලබන නිරෝධායන පනත ද අතීතයේ දී සම්මත කරනු ලැබූ පනතක් වුවත් එය කිසිදු කාලීන සංශෝධනයකට යටත් කර නොමැත. වර්තමානයේ පවත්නා නීති රීතින්හි ඇති දුර්වලතා මග හරවා ගැනීමට, අතීතයේ සම්මත කරන ලද වර්තමානයට අදාළව යාවත්කාලීන නොවූ අධිකරණ සංවිධාන පනතේ වගන්ති හා අනෙකුත් පනත් වහාම කාලීන වශයෙන් සංශෝධනය කිරීම කිරීම සිදු කළ යුතුය. 4. ප්‍රමාණවත් අධිකරණ පද්ධතියක් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත නොවී තිබීම. මීට දශක කිහිපයකට පෙර ලංකාවේ ජන ඝනත්වයට අනුකූලව හා නඩු ප්‍රමාණයට අනුකූලව අධිකරණ පද්ධතිය සකස් කර තිබේ. නමුත් වැඩි වන වැඩිවන ජනගහනය හා ඉහළ යන නඩු ප්‍රමාණයට සාපේක්ෂව අධිකරණ පද්ධතිය ප්‍රසාරණය නොවීම ප්‍රධාන ගැටලුවකි. එනිසා දිනකට අධිකරණයක් තුළ ගොනු වන නඩු ප්‍රමාණය සංක්‍යාත්මකව විශාල අගයක් ගනී. ඇතැම් දිස්ත්‍රික්ක සඳහා ඇත්තේ එක් මහාධිකරණයක් නිසාවෙන් ඒවායේ ගොනුවන නඩු ද අති විශාලය. එබැවින් නඩු කටයුතු සඳහා දීර්ඝ කාලයක් ගතවීම ගත වීම සාධාරණ ය. ප්‍රමාණවත් අධිකරණ පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත නොවී තිබීමෙන් ඇතිවන ගැටළු මගහරවා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ලෙස, මුල් කාලීන අධිකරණ සීමා සහ අධිකරණ සංඛ්‍යාවන් ඉක්මවා ගොස් කාලීන අවශ්‍යතා අනුව අධිකරණ බල ප්‍රදේශ නම් කොට අධිකරණ සංඛ්‍යාව ප්‍රමාණාත්මකව ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය. අධිකරණ විනිශ්චයකාරවරුන් සහ කාර්‍ය මණ්ඩලය වැඩි කිරීමට කටයුතු කළ යුතුය. එක් කාර්යය සඳහා විශේෂ වූ ඉක්මනින් නඩු ඇසිය හැකි අධිකරණ විවිධ දිස්ත්‍රික්ක වල ස්ථාපිත කිරීම. (උදා÷ මෑතකාලීනව ස්ථාපිත කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය) 5.අධිකරණ කටයුතු පිළිබඳ ප්‍රජාව සතු අල්ප දැනුම අධිකරණ කටයුතු හා සම්බන්ධව ජනතාව සතුව ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම ද එක්තරා ගැටලුවකි. ඊට ප්‍රධානතම හේතු සාධකය වන්නේ නීතිය හා සම්බන්ධ නිලධාරීන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නීතිය සීමිත නිලදාරින් පිරිසක් නීතිය පිළිබඳ ව දැන සිටීමයි. නීතිය පිළිබඳ කරුණු සමාජගත වී නොමැත. එනිසා බොහෝ විට නීතිඥයා මත යැපීමට ප්‍රජාවට සිදු වේ. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය විෂයෙහි ඇති විශ්වාසය පළුදු වීම ද ප්‍රජාව නීතිය පිළිබඳ ඇල්මක් නොදැක්වීම කෙරෙහි බලපායි. මෙම ගැටළුව මගහරවා ගැනීමට ගත යුතු ගත යුතු ක්‍රියාමාර්ග ලෙස, නීතීඥයන්, නීති ශිෂ්‍යයන් හා අධිකරණය සම්බන්ධ නිලධාරීන් යොදවා රටපුරා ප්‍රජාව වෙත නීතිය පිළිබඳව වැඩමුළු පැවැත්වීම. නීතිය හා සම්බන්ධ ආයතන වන නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රීලංකා පොලීසිය, පාර්ලිමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය සහ නීති පීඨයන් මගින් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍යන්හි විධිමත් අයුරින් නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම. දීර්ඝකාලීනව නීතිය පිළිබඳ ව සමාජගත කිරීම සඳහා පාසල් විෂය නිර්දේශයට නීතිමය කරුණු සහ සාධක ඇතුළත් කිරීම. මූලාශ්‍ර ÷ http://www.ada.lk/opinion/ https://sinhala.srilankabrief.org/2017/06/ https://www.bbc.com/sinhala/sri-lanka-43473536 ReplyForward




Recent Posts

See All

1 Comment


Like

© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page