කලියුගය
- DEVIATORS
- Jan 16, 2021
- 2 min read
G.D. Rukshan Madhushanka Gunarathna
Faculty of Allied Health Sciences
University of Peradeniya

# කොසොල් රජු දුටු සිහින දහසය ඇසුරෙනි.
ඝන වැහි වලාවන් අහසේ දිස්වෙනවා
ගොවියෝ ගොවිතැනට සූදානම් වෙනවා
වේලෙන්නට දැමූ දෑ ගෙට ගොඩවෙනවා
එනමුදු වැහි වලාවන් ඉවත්ට යනවා
වියතක් පමණ උස ගස්වල මල් පිපිලා
සිතනට නොහැකි තරමට ලොකු ඵල හැදිලා
ආශාවන් වැඩි වෙලා ආයුෂ අඩුවීලා
දරුවන් බිහිකරති අඩු වයසින් බැඳලා
ගරුසරු නොදැක්වයි තම කුල දෙගුරුන් හටවත්
බැල මෙහෙවර කරයි දරුවන් ළඟ මාපියනුත්
එලෙසින් දාසියන් ලෙස සේවය නොකලොත්
නැත සැලකුමක් මාපියනට තම දරුවන්ගෙනුත්
සිටිනා නමුත් වියතුන් රට තුළ පිරිලා
නැත කිසි තනතුරක් වගකීමක් දීලා
නිලතල ඇමතිකම් බාලයනට පාලා
රට තුල පාලනය මහ අවුලක් වීලා
අධාර්මික පාලකයන් රජ වෙනවා
නීතිය වල් වැදී ඇත අයුක්තිය මතුවෙනවා
නීතිය රකින මහතුන් අල්ලස් කනවා
මේ කලියුගයෙ හැටි බුදු හිමි බණ දෙසුවා
සිටි සැපසම්පතින් වැජඹීලා අද දවසේ
පිරිහී යනවාලු සම්පත් හෙට දවසේ
කල හැකි යමක් නැතිකොට දරුවන් නිවසේ
ධනවත් හොරුන් සමඟින් සරණට යයි පහසේ
සම් පට රැගෙන අඹරන ලණුවක් වෙහෙසේ
එය කා දමයි සිවලා එසැණින් නොවෙමින් අලසේ
එලෙසින් ස්වාමියා උපයන දෑ වෙහෙසේ
වියදම් කරයි වෙන වෙන අය වෙත පහසේ
පාලකයන් නොමැත රට ගැන සිතන්නේ
ජනයා දිලින්ඳන් වීලා පසුවන්නේ
එනමුදු බදු බරෙන් ජනයා මිරිකෙන්නේ
ධනවත් ඇත්තෝම තව ධනවත් වෙන්නේ
සැම අතකින්ම රට දූෂිත වී යන්නේ
උගතුන් හට නොමැත නිසිතැන ලැබෙන්නේ
නොහැකිව සේවයක් කරනට තුටින්නේ
ගම රට හැරදමා යන්නට සිත් දෙන්නේ
නැත නිසි කලට රට තුළ වැසි වසින්නේ
තැනකට වහී තව තැනකට පායන්නේ
ගොවි අස්වැන්න නිසි ලෙසකට නොලැබෙන්නේ
රට දැහැමින් නොකල හින්දයි හැම සිදුවන්නේ
පස්කම් සැප ලැබීමේ ආසාවෙන් පැවිදි වෙති
සැප සොයමින්ම මිනිසා හට දම් දෙසති
බුදු හිමි දෙසු දහම මුදලට යටත් වෙති
මෙහෙමයි කලියුගයේ දී බුදු සසුනෙ හැටි
ගති ඇති පහත් උන්හට තනතුරු ලැබෙති
රට කරවන තැනින් හිස් කතා පමණක් ඇසෙති
පන්සල් තුළත් හිස් දේවල් රජ කරති
හිස් දේ පමණක්ම මිනිසුන් පිළිගනිති
උගතුන් සිල්වතුන් වියතුන් කියන දෙය
නැත පිළිගන්නෙ පාලකයින් ජනතාව
යහපත් මිනිසුන්ගෙ අදහස් අමිල වන
නැත සිත්වලට දැනුනේ පාවී යයි අහක
මිනිසුන්ගේ සිතේ රාගය වැඩි වෙනවා
වියපත් ධනවතුන් ලාබාල කතුන් හට අසුවෙනවා
ධනයට ලොබ බඳී සරණට පෙළඹෙනවා
නිඟහ විඳිමින්ම වසඟට ඔහු යනවා
රට තුළ වැජඹෙන්නේ මිනිසුන් මැරූ අයයි
උගතුන් බුද්ධිමත් අය මේ හොරුට යටයි
වියතුන් හොරුට රැකවරණ දෙන්නට සිතුවෙයි
දුක් වී ඵලක් වේවිද මේ කලියුගයෙ හැටියි
コメント